Gossips

අගමැති ඉවත් විය යුතුයි – නැතිනම් සම්මුතිවාදය අවසන් – නිදහස් පක්ෂය දැඩි තීන්දුවක

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ හමුවී විශ්වාසභංගය පරාජය කිරීම සඳහා එකඟත්වයක් ඇති කර ගත් බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත ද එක්ව සිටියා.
මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙලෙස අදහස් පළ කළා.
‘‘19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව බිහි වෙච්චි අග්‍රාමාත්‍යවරයා ඒකාධිපති පාලකයෙකුටත් එහා ගිය අයෙක්. මේ විශ්වාසභංගය තුළ ටී.එන්.ඒ. සහ මුස්ලිම් පක්ෂවලට වැරදි මතයක් ගෙන යනවා සම්මුති ආණ්ඩුව කඩන්න හදනවා කියලා. හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වනවා නම් සම්මුතිවාදී ආණ්ඩුව රැකෙනවා. ’’
මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙලෙස අදහස් දක්වා සිටියා.
‘‘රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන පෞද්ගලික ගැටළුවක් නැහැ. නමුත් මේ ක්‍රියාකාරීත්වය පිළිබද අපට ගැටළුවක් තියෙනවා. විශ්වාසභංගයේ තියෙන කරුණුවලට විරුද්ධව ඡුන්දෙ දෙන්න අපට පුළුවන්කමක් නැහැ. අපට තේරෙනවා මේ ගමන යන්න බෑ කියලා. සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනි නම් ජනතාව වෙනුවෙන් තීරණ ගන්න. නැතිනම් 4 වන දා 9 වෙනකොට සම්මුතිවාදී ආණ්ඩුවක් නෑ. ’’