Gossips

අගමැති ඉල්ලා අස් නොවන්නේ නම්, තීන්දුවක් ගන්නා බව නිදහස් පක්ෂය කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය අද රාත්‍රියේ පැවැත්වෙන නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
මෙම හමුව රාත්‍රි 08 ට පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදීයී.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ අද රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
ඊයේ රාත්‍රියේද නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී විශ්වාසභංගය පිළිබඳ විවාදයට පෙර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීමටයි ඒකමතිකව තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව අද පැවති කැබිනට් රැස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා හමුවූ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට වන ස්ථාවරයේ නිදහස් පක්ෂය සිටින බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අද රාත්‍රි 8 ට යළි රැස්වී සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, ඉල්ලා අස්වන ලෙසට නිදහස් පක්ෂය කළ දැනුම්දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ තවදුරටත් අග්‍රාමාත්‍යවරයා එම ධුරයේ රැදී සිටිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දහවල් ජනාධිපතිවරයා හමුවී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡාවක් සිදුකළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමද සිය පක්ෂ මූලස්ථානයේදී රැස්වී තීරණය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමටයි.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලයද අද රාත්‍රි 7 ට විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දරුසලාම් පක්ෂ මූලස්ථානයට රැස්වෙනු ඇති.
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වූවා.
අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ විශ්වාසභංගය සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති පක්ෂ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණයක් ගත් බවයි.