Politics Sri Lanka

අගමැති අද සිංගප්පූරුවට

අගමැති අද සිංගප්පූරුවට

කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා අනිද්දා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.

2018 වසරේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමටද මෙම සමුළුව ඉවහල් වනු ඇත.

සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන්, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වෙති.

බැඳුම්කර වංචාවට අදාළව මේ වනවිට මෙරටට ගෙන්වීම සඳහා අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද මේ වනවිට ජීවත්ව සිටින්නේ සිංගප්පූරුවේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකි.