Gossips

අගමැතිනියට එරෙහිව, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැරැල්ලක්

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය තමන් අතට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඊයේ ඡන්දය ප්‍රකාශ කළා.
අගමැතිනී තෙරේසා මේ ගේ රජය පරාජය කිරීම සඳහා එහිදී පාලක කන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. ඊට අමාත්‍යවරුන් තුන් දෙනෙකු ද ඇතුළත්.
බ්‍රික්සිට් ක්‍රියාවලිය තමන් අතට ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 329 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට එරෙහි වූයේ මන්ත්‍රීවරුන් තුන්සිය දෙදෙනෙකු පමණයි.
කෙසේ නමුත්, අගමැතිනී තෙරේසා මේ ප්‍රකාශ කළේ මෙලෙස රටට බලපාන ක්‍රියාවලියක බලය මන්ත්‍රීවරුන් අතට ගැනීම වැරදි පූර්වාදර්ශයක් බවයි.
එමෙන්ම ඔවුන්ගේ ඉදිරි පියවර සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
බ්‍රික්සිට් ක්‍රියාවලියේ බලය තමන් අතට ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මෙහෙය වූ කණ්ඩායම ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කොන්දේසි පිළිබඳව තවත් ඡන්ද විමසීම් කිහිපයක් ඉදිරි දිනවලදී සිදුකරන බවයි.