Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන පක්ෂ කිහිපයක අවසන් තීන්දුව අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් අද (02) පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (02) පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙනවා.
ඒ, ජනාධිපති නිල නිවසේදියි.
මේ අතර විශ්වාසභංග යෝජනාව පිළිබඳව සහ ඉදිරි දේශපාලන තත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වනවා.
ඒ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.
කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදි ඊට පක්ෂව ජන්දය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන අනිද්දා දිනය තෙක් අවස්ථාව ඇති බව අවධාරණය කළා.
කෙසේ වෙතත් අද දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතයි.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානය ද අද රැස්වනවා.
එහිදී විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව අනිද්දා පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුවයි ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.