Gossips

අගමැතිට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (06) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංගයට අවශ්‍ය අත්සන් ලබා ගැනීම සිදුකරන බවයි.
අනතුරුව එය කථානායකවරයාට භාරදීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට, චෝදනා 14ක් ඇතුළත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට නොබියව මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් කියා සිටියේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු ඒ පිළිබදව සන්ධානයේ මතය ප්‍රකාශ කරන බවයි.