Gossips

අකුණු සැර වැදී තරුණයෙකු මරුට

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – විශ්වමඩු – තොට්ටිඅඩි ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මියගොස් ඔහුගේ සහෝදරිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද දහවල් මොවුන් දෙදෙනා නිවස ඉදිරිපිට සිටියදී ප්‍රදේශයට ඇදහැලූනු ගිගුරුම් සහිත වැසිත් සමඟ මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය සහෝදරයාගේ වයස අවුරුදු 17 ක් වන අතර, තුවාල ලබා ධර්මපුරම් දිසා රෝහලට ඇතුළත් කළ නැගණියගේ වයස අවුරුදු 15 ක්.
මේ අතර අද රාත්‍රි කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, උතුරුමැද සහ බස්නාහිර පළාත්වල මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල මෙලෙස ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවිය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, වැසි පවතින අවස්ථාවන්හිදී ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.