Gossips

අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට ස්ථාපිත වී ඇති බැවින් සවස් කාලයේ ඇතිවන වර්ෂාව සමඟ අකුණු අනතුරු සහ ටොනාඩෝ තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ නිසා අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර, දිවයිනට ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (03) පස්වරු කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ උතුරුමැද, මධ්‍යම, ඌව, බස්නාහිර, වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර, තලවකැළේ – ගේ‍්‍රට් වෙස්ටන් වතුයායේ – ලූසා කොටසට ඉහළින් පිහිටි රක්ෂිතයේ සිදුවූ සුළු නායයාමක් හේතුවෙන් පවුල් 300කට අයත්, පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් ඊයේ රාත්‍රියේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා.
ඇද හැලුණු වර්ෂාවත් සමඟ ගල් කඩා වැටීමේ ශබ්දයක් ඇසුණු බවට ගම්වැසියන් ප්‍රකාශ කිරීම නිසා ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ නමුත්, ඔවුන් අද (03) අලුයම යළි සිය නිවාස වෙත පැමිණ ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කෑගල්ල – වාගොල්ල ප්‍රදේශයෙන් බවයි.
එය මිලිමීටර් 128 යි දශම 5ක්.
මේ අතර, අද පස්වරුවේත් උතුරුමැද, මධ්‍යම, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.