Gossips

විශේෂ කැබිනට් රැස්වීම අවසන්

මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ජා කෙරෙන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (13) උදෑසන එය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
රැස්වීම අවසන් වීමෙන් පසු පිටතට පැමිණි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ රජය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවයි.
එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙහිදී ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කිරීමට නියමිත බවයි අමාත්‍ය මණ්ඩල හමුව ආරම්භ වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.
මේ අතර අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ද නියමිතයි.
එහිදී තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ.
අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු නොවන්නනේ නම් ආණ්ඩුවට සහය නොදැක්වීමේ ස්ථාවරය එලෙසම පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ රාත්‍රියේ ද කොළඹ දී පැවැත්වුණා.
එහිදී ඔවුන්ගේ අනාගත දේශපාලනය පිලිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ද අද දිනයේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අතර හමුවක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව යලි තීරණාත්මක සාකච්ජාවක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ජාවක්ද ඊයේ රාත්‍රියේ යලි පවත්වා තිබෙනවා.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ පැවති සාකච්ජාවේදී යහපාලන ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සාකච්ජා කිරීම සඳහා දස පුද්ගල කමිටුවක් පත් කෙරුණු බව වාර්තා වුණා.
කෙසේ වෙතත්, ඊට ඇතුළත් වූ අමාත්‍යවරුන් කවුරුන් ද යන්න මේ වනතුරුත් ප්‍රකාශයට පත්වී නැහැ.
එම කමිටුවේ තීරණ ද අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දීමට නියමිතයි.