Gossips

වායුගෝලයේ කැළඹීමක්, තද වැසි සමඟ මුහුදත් රළුවේ

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිළි ස්වභාවයක් වර්ධනය වීම නිසා අද (13) අලුයම සිට උදෑසන 9 වනතුරු දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමඟින් කියා සිටියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි අතර, තවකාලික තද සුළං සහ අකුණු අනතුරුද පවතින බවයි.
එමෙන්ම පස්වරුවේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිඟුරුම් සහිත වැසි ඇතිවනවිට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකියි.