Gossips

මියගිය බවට සිතා වළදැමූ කාන්තාවක් දින 11 කට පසු යළි නැඟිටියි

මියගොස් ඇතැයි සිතා පවුලේ ඥාතීන් විසින් වළදැමු කාන්තාවක් දින 11 කට පසුව ද ජීවත්වීමේ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වනවා.
37 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුර මුද්‍රා කරන ලද මිනී පෙට්ටියක තැන්පත් කර අවසන් කටයුතු සිදුකර ඇත්තේ හෘදයාබාධයකින් මරණයට පත්වු බවට සැක කරමිනුයි.
කෙසේවෙතත් ඇයගේ මිනී වළ දෙසින් දින කිහිපයකට පසු ප්‍රදේශවාසීන්ට කිසියම් ශබ්දයක් ඇසී තිබෙනවා.
අනතුරුව පවුලේ ඥාතීන්ට කළ දැනුම්දීමකට අනුව මිනී වළ විවෘත කර බැලීමේ දී හෙළිවී ඇත්තේ මෙම කාන්තාවගේ සිරුර තවමත් කිසිදු උපද්‍රවයකින් තොරව උණුසුම්ව පවතින බවයි.
එමෙන්ම ඇය එම මිනී පෙට්ටියෙන් ඉවත්වීමට උත්සාහ දැරූ බවට සාක්ෂි ද දක්නට ලැබී ඇතැයි විදෙස් පුවත් සේවාවල සඳහන්.
ඉතා දුර්වල තත්වයකට පත්ව සිටි ඇය බේරා ගන්නා විට සිහි විසඥවී සිටි බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මිනී පෙට්ටිය ගොඩට ගෙන සුලු වේලාවකින් ඇය මියගොස් තිබෙනවා.
ඒ දින 11 ක් පුරා කිසිදු ආහාරයක් හෝ නොමැතිව දිවි බේරා ගැනීමට සටන් කර ඉතා දුර්වල තත්වයක සිටීම හේතුවෙන්.
පසුගිය ජනවාරි මස 28 වනදා බ්‍රසීලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.
ඊට පසු දිනයේම ඇය මිහිදන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇයගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ නිවෙස් හිමියන් පසුගිය 9 වනදා මෙම කාන්තාවගේ ඥාතීන්ට දැනුම්දී ඇත්තේ මිනී වළ තුලින් කිසියම් ශබ්දයක් ඇසෙන බවයි.
ඒ අනුවයි ඥාතීන් මේ පිළිබඳ සොයා බලා මිනී පෙට්ටිය ගොඩට ගෙන ඇත්තේ.
දින 11 ක් පුරා ඇය මිනී පෙට්ටියෙන් පිටතට ඒමට කළ උත්සාහයන් ඇයගේ සිරුරේ දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
එම උත්සාහයේදී ඇයගේ අත්පා තුවාල වී රුධිරය වහනය වී ඇති අතර නාසයේ සහ දෙකන්වල දමා තිබු පුලුන් ද එහි තිබී නැහැ.
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම කාන්තාව මරණයට පත්ව ඇතැයි ප්‍රකාශ කර ඇති බවයි ඥාතීන්ගේ චෝදනාව වන්නේ.
ඔවුන් මේ පිළිබඳ පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා.
මෙම කාන්තාව මියගිය බවට ප්‍රකාශ කෙරුනු අවස්ථාවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් ද සිදු කර නැහැ.
පොලිසිය සැක පළ කරන්නේ රෝගී තත්වයට ලබාදුන් ඖෂධයක් හේතුවෙන් සිහි විසඥ තත්වයකට පත්ව සිටියදී මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශකරන්නට ඇති බවයි.