Gossips

මැතිවරණ රාජකාරී සඳහා පොලිසියේ 65,000ක්

ඡන්ද මධ්‍යස්ථානවල හෝ ඒ අවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීමට වුවද හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
දිවයින පුරා මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් යොදවා ඇති අතර, එක් ඡන්ද මධ්‍යස්ථානයකට ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ දී ගෙන් ගෙට ගොස් ඡන්දය ඉල්ලූ ආධාරකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඔහු කියා සිටියා.
මේ අතර අදත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා.
බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පිරිසක් රැස්වී උද්ඝෝෂණයක නිරතවුණේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි බලධාරීන්ට බලකරමින්.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද එක්ව සිටියා.
අප වාර්තා කරු සඳහන් කලේ අද පස්වරුව වන තුරුද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අදාළ ස්ථානයේ රැඳී සිටි බවයි.
මේ අතර හලාවත ප්‍රාදේශීය සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතව සිටියදී අද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අදාළ පුද්ගලයා සතුව තිබී ප්‍රචාරක පත්‍රිකා රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර රජයේ විගණකාධිපතිවරයා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ජාවකදී රාජ්‍ය ණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් ඊට අදාළව අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනලගාමිණි ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී විගණකාධිපතිවරයා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාව සම්බන්ධව ජාතික මැතිවරණ
නිරීක්ෂණ මධ්‍යස්ථානය ද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අදාළ ප්‍රවෘත්ති සාකච්ජාව වෘත්තීය අචාරධර්මවලට පටහැනි බව දන්වමින්.
මේ අතර පැෆ්රල් සංවිධානය පවසන්නේ මැතිවරණ සමයේ මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 864ක් වාර්තා වී ඇති බවයි.
ඉන් 160 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙසත් 64 ක් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපොල අවභාවිත කිරීම් ලෙසත් වාර්තාවන බව ඔවුන් සඳහන් කළා.
සිද්ධීන් 182ක් වාර්තා වී ඇත්තේ භෞතික සහ මානසික අල්ලස් ලබාදීම් ලෙසයි.