Gossips

බෙල්ලන්විල මහනාහිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය ගැන පොලිස්පතිටත් පැමිණිල්ලක්

අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් පොලීසියට විරුද්ධව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර විසින් අදාළ පැමිණිල්ල පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
පසුගිය 02 වනදා විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක්වූ බෙල්ලන්විල නාහිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ – නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.
උන්වහන්සේ එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 03 වන දා අපවත් වූ අතර, දේහය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකළේ බොරලැස්ගමුව හදිසි මරණ පරීක්ෂකවරයා විසිනුයි.
කෙසේ වෙතත්, හිමියන් අපවත් වූයේ තම අධිකරණ බල ප්‍රදේශය පිහිටි රෝහලක දී බැවින් එම මරණ පරීක්ෂණය තමන් විසින් සිදුකළ යුතු බවටයි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර සඳහන් කළේ.
එහිදී බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ මැදිහත්වීමෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීම නීතිවිරෝධී බවට පවසමින් ඇය පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ සිදුවීම පිළිබදව මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සහ අධිකරණ අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.