Gossips

බෙල්ලන්විල නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහරපස්වරු එකට විහාරස්ථානයෙන් නික්මේයි

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.
දැනට උන්වහන්සේගේ ශ්‍රී දේහය බෙල්ලන්විල රජමහා විහාරයේ ධර්ම ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය රැගත් අවමංගල පෙරහර පස්වරු එකට විහාරස්ථානයෙන් පිටත්වීමට සැළසුම් කර ඇති බවයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් කියා සිටියේ.
රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන අවමංගල පූජෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරු, සර්ව ආගමික පූජකවරුන් මෙන්ම දේශපාලනඥයින්ද සහභාගිවීමට නියමිතව තිබෙනවා.
අවමංගල්‍ය පෙරහර හේතුවෙන් දහවල් 12.30 සිට බොරලැස්ගමුව, රත්තනපිටිය සහ පැපිලියාන අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
ආදාහන පූජෝත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ හයිලෙවල් පාරේ විජේරාම මංසන්ධියෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙසට වාහන ඇතුලූ කිරීමද සීමාකර තිබෙනවා.
පසුගිය 3 වනදා විහාරස්ථානයේ සිදුවූ හදිසි අනතුරකින් අපවත්වනවිට පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් 75 වන වියේ පසුවුණා.