Gossips

බීමත්ව සෙල්ෆි වීඩියෝ ගැනීමට ගිය තරුණියක් දුම්රියකට බිලි

දුම්රිය මාර්ගයක සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණියක් දුම්රියේ ගැටීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ පෙරවරුවේ තායිලන්තයේ බැංකොක් නුවර ආසන්න ප්‍රදේශයකදී ඇය ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කර ඇත්තේ සිය මිතුරෙකු ද සමගයි.
මියගිය තරුණියගේ මිතුරෙක් සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත හෙළිකර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ මියගිය සිය මිතුරිය මත්පැන් පානය කර සිටි අතර දුම්රියක් පැමිණෙන අවස්ථාවේ දුම්රිය සමග සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට තමාට අවශ්‍ය යැයි පැවසු බවයි.
අනතුරුව මෙම කාන්තාව සිටි දුම්රිය මාර්ගය ආසන්නයේ තිබු තවත් මාර්ගයක ඔවුන් දෙදෙනාට නොදැනුවත්ව පැමිණ දුම්රියක ගැටී තිබෙනවා.
අනතුරින් මියගිය කාන්තාවගේ මිතුරා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිළිබඳ විමර්ශණයක් ක්‍රියාත්මක බව බැංකොක් ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.
මෑත කාලීනව දුම්රිය මාර්ග මෙන්ම අනතුරුදායක ස්ථානවල සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගොස් සිදුවූ මරණ ඉහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
විශේෂයෙන් සීඝ්‍රගාමී දුම්රිය ධාවනය වන විට එම ස්ථානයේ සිට සෙල්ෆ් වීඩියෝ ගැනීමේ ප්‍රවණතාවක් ද මේවන විට පවතිනවා.
එය විශේෂයෙන් දක්නට ලැබෙන්නේ ඉන්දියාවේයි.
පසුගිය ජනවාරි මාසයේදී ද හයිද්‍රබාද් නුවරදී එලෙස දුම්රිය මාර්ගයේ සෙල්ෆි වීඩියෝවක් ගැනීමට ගිය තරුණයෙකු වෙනත් දුම්රියක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුනා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කර්ණාටක ප්‍රාන්තයේ තරුණයන් තුන්දෙනෙකු දුම්රියට බිලිවුයේ ද සෙල්ෆි වීඩියෝ ගැනීමට උත්සාහ කිරීමේදීයි.
එමෙන්ම නවදිල්ලි නුවරදී දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆ් ඡායාරූප ගැනීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු ද දුම්රියේ ගැටීමෙන් මරණයට පත්වුනා.