Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංකට යළි රාජකාරි භාරදුන් ජනපති නියෝගය, අමාත්‍යාංශ දෙකකට

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළා.
එම නියෝගය ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකර ඇති බව සඳහන්.
පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය දා, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඔවුන් ඉදිරියට පැමිණ කිසියම් සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවුණේ විදේශ අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටවූ බව ඊයේ නිවේදනය කිරීමත් සමගයි.
මේ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීම අහෝසි කරන ලෙස ඉල්ලමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයද අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ලිපියක් භාර දුන්නා.
ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණයට විරෝධය පළ කරමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද පෙරවරුවේ නිදහස් චතුරස‍්‍රයේදී නිහඬ විරෝධතාවයක නිරත වුණා.