Gossips

බංග්ලාදේශ පිතිකරුවෙක් වාර්තාවක් අභියස

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය චිතගොන්හිදී දැන් ක්‍රියාත්මකයි.
දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටිනවා.
වේගවත් පිතිහරඹයක නිරත වන මොමිනුල් හක් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 70 ක්.
ඔහු තවත් ලකුණු 30 ක් ලබා ශතකයක් වාර්තා කළහොත් එය වාර්තා අතරට එක් වනවා.
ඒ එක් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසින්.
එමෙන්ම ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු රැස් කළ බංග්ලාදේශ පිතිකරුවා ලෙසට ද ඔහු වාර්තා අතරට එක්වී අවසන්.
අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකුම දැවී ගොස් තිබියදීත් අද දිනයේ ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් දෙවන ඉනිමේ ලකුණු අතරට පිවිසීමට සමත්වු මොමිනුල් හක්ට සහ ලීටන් ඩාස් දිවා ආහාරය වෙනුවෙන් ක්‍රීඩාගාරයට පිවිසෙන විට කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවුනා.
දිනය ආරම්භය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පිටුපසින් සිටිය ද මේවන විට එම ලකුණු පරතරය අවම කර ගැනීමට මෙම පිතිකරුවන් දෙදෙනාට හැකියාවක් ලැබුනා.
බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 513 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 9 කට ලකුණු 713 ක්ව තිබියදී අත්හිටවනු ලැබුවා.