Gossips

පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුවේ වෙනස්කම් රැසක්

පෙබරවාරි 10 වනදායින් පසු රජය තුල සිදු කළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ මේ වන විට තමා තීන්දු කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අද පස්වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ පසුගිය සමයේ ඇතිවු ණය බරත් සමග මුහුණදීමට සිදුවු ආර්ථික ගැටලුවලට විසඳුම් සොයමින් රට ඉදිරියට ගෙන යා යුතු බවයි.
රටේ ආර්ථික කළමණාකරණයට ඍජුව මැදිහත් වෙමින් ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාදී ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල මෙන්ම කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමන වෙනුවෙන් ගතයුතු තීරණ ද පෙබරවාරි 10 වනදායින් පසු ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රටක් ලෙස ඉදිරියට මිස පසුපසට යාම සුදුසු නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ අතර වත්මන් ආණ්ඩුවේ මෙන්ම පැවති සියලූ ආණ්ඩුවල අභ්‍යන්තර අර්බුද පැවති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පළාත් පාලන මැතිවරණයට සමගාමීව දොම්පේ ප්‍රදේශයේ ඊයේ (02) පැවති ජනරැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ආණ්ඩුවෙන් එළියට පැමිණි තමන්ගේ ප්‍රතිපත්තිවලට ජනතාව ඡන්දය ලබාදුන් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද එක්ව සිටි අතර ඔහු කියා සිටියේ නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස් වලට අනාගතයක් නොතිබූ බවයි.