Gossips

ප්‍රසන්න රණතුංග ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුව විභාගය මාර්තු 12 වනදා

බස්නාහිර පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව විභාග කිරීම මාර්තු මස 12 වනදා ආරම්භ කිරීමට අධිකරණය අද(14) නියෝග කළා.
ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
ඉඩමක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදල් ලබා ගැනීම ඇතුළු චෝදනා 15ක් යටතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිදට සහ තවත් ව්‍යාපාරිකයෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
අද(14) දිනයේ මෙම නඩු විභාගය ආරම්භ වීමට නියමිතව තිබුණත් විත්තිකාර ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ වෙනත් නඩු කටයුත්තකට සහභාගි වීමට සිදුවීම හේතුවෙන් නඩු විභාගය කල් දමන ලෙසටයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඊට විරෝධය පළ නොකිරීම මත මෙම නඩුවේ විභාග කටයුතු මෙලෙස කල් දැමුණා.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි නොතීසි නිකුත් කෙරුණේ.