Politics Sri Lanka

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි

එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් තමාට හා තම පවුලේ ඥාතීන්ට දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුවද පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ ආනමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳව නිවේදනයකින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මේ බව සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආසන සංවිධායක ධූරයක් ලබාගනිමින් දේශපාලනයට අවතීර්ණ වූ තමාට බොහෝ දේ අහිමි වූ බවයි.

ආනමඩුවේ පැවති දේශපාලන වාතාවරණය තුළ තමාට මෙන්ම තම පවුලේ ඥාතීන්ට ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ බව පවසන පාලිත රංගේ බණ්ඩාර මහතා තමාට යම් සහනයක් වූයේ නම් ඒ පුත්තලම ජනතාවගේ අගය කිරීම පමණක් බව පෙන්වා දෙයි.

දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් එම සියලු දේට මුහුණදීමට සිදුවුව ද තමාට පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

දේශපාලන විරුද්ධවාදීන් විසින් තමා වෙත එලෙස බලපෑම් සිදුකරද්දී එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පොලිස් සේවය වෙනුවෙන් වසර 17ක කැපවීමත්, දේශපාලනය වෙනුවෙන් මේ දක්වා සිදුකළ කැප කිරීමත් මත සිදුවන දෑ වේදනාකාරී බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා බලහත්කාරයෙන් තනතුරුවල රැඳී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පවසයි.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එය ලිඛිතව පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙත බාරදීමට පියවර ගත් බව පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තම හැකියාවන් ඇගයීමට ලක් කළ මහ ලේකම්වරයා එම ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් තම අභිප්‍රාය එලෙසම පවතින අතර ඒ වෙනුවෙන් තවත් මොහොතක් බලා සිටීමට සිදුව ඇති බවත්, ගෙවෙන සෑම මොහොතකම වටිනාකම මිල කළ නොහැකි බවත්, පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.