Gossips

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මීර්පුර්හිදී නිමාවට පත්වුනා.
දිනය අවසානයේ දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටිනවා.
රොෂේන් සිල්වා ලකුණු 58 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 7 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
රොෂේන් සිල්වා අද ලබාගත්තේ සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකයයි.
ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී ද ලකුණු 56 ක් රැස් කළා.
අද දිනයේදී 8 වන කඩුල්ල ලෙස මුස්ටෆිසුර් රහ්මාන්ගේ පන්දුවකින් අකිල ධනංජය කිසිදු ලකුණක් නොලබා දැවී යන විට රොෂේන් සිල්වා සිය අර්ධ ශතකය අභියසට පැමිණ සිටියා.
9 වන කඩුල්ල ලෙසට ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී පිටියට පිවිසි රංගන හේරත් අද පිටියට නොපැමිණි අතර සුරංග ලක්මාල් පන්දුවට පහරදීමට එක්වුනා.
අර්ධ ශතකය අභියස සිටි රොෂේන් සිල්වාට සිය අර්ධ ශතකය ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සුරංග ලක්මාල් යැවීමට ශ්‍රී ලංකාව කටයුතු කරන්නට ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
අකිල ධනංජයට පෙර 7 වන කඩුල්ල ලෙසට දිල්රුවන් පෙරේරා දැවී ගියේ ලකුණු 7 ක් ලබා සිටියදීයි.
ඒ අනුව මුස්ටෆිසුර් රහ්මාන්ට කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන වාර්තා අතරට එක්වීමේ අවස්ථාවක් පැමිණ තිබුන ද ඔහුට 9 වන කඩුල්ල ලෙසට පිටියට පිවිසි සුරංග ලක්මාල් දවා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී මුස්ටෆිසුර් රහ්මාන් යැවූ පන්දුවක් ඇගිල්ලේ වැදීමෙන් නායක දිනේෂ් චන්දිමාල් සුලු ආබාධයකට ලක්වුනා.
කෙසේවෙතත් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු යළිත් පන්දුවට පහරදීමට එක්වුනා.
ඔහු දැවී ගියේ ලකුණු 30 ක් ලබා සිටියදීයි.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ධනංජය ද සිල්වා 28 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් රැස් කළා.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 222 යි.
මුස්ටෆිසුර් රහ්මාන් කඩුලු 3 ක් බිඳහෙලු අතර ටයිජුල් ඉස්ලාම් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
බංග්ලාදේශයට පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 110 ක් පමණයි.