Gossips

දියතලාව බස් රථයේ පිපිරීම ගැන යුද හමුදාවෙනුත් පරීක්ෂණ

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා යුද හමුදා පොලීසියට භාරදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ බස් රථයේ සිටි යුද හමුදා සෙබළෙකු ලඟ තිබූ ජීව අත්බෝම්බයක් පුපුරායාමෙන් මෙම සිද්ධිය සිදුවූ බවට සැක කරන බවයි.
කෙසේ වෙතත් ඊට කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ වී නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශන තවදුරටත් සිදුකරන බවද ඔහු කියා සිටියා.
දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී ඊයේ අළුයම 5.45 ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පසු ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.
එලෙස දියතලාව රෝහලට ඇතුලත් කෙරුණු පිරිස අතරට යුද හමුදා සාමාජිකයන් 7 දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු ඇතුළත්.
තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයෙකුට ශල්‍යකර්මයක් සිදුකර පාදයක කොටසක් ඉවත් කර තිබුණා.
කෙසේ වෙතත් හමුදා සෙබළුන් ඇතුලූ 14 දෙනෙකු තවමත් දියතලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධිකාරී වෛද්‍ය රංජිත් අමරකෝන් සඳහන් කළේ.