Gossips

තරග ජයග්‍රහණයට හේතුව චන්දිමාල් පැහැදිළි කරයි

මීර්පුර්හි ශේරේ බංග්ලා ක්‍රීඩාංගණයේ තණතිල්ල තමා සිතු ආකාරයට වඩා හොඳ තත්වයක පැවති බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
ඊයේ පළමු 20 යි 20 තරග ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ කාසියේ වාසිය අහිමිවීම ද වාසිදායක ලෙස බලපෑ බවයි.
තරග ජයග්‍රහණයේ වැඩි දායකත්වයක් පිතිකරුවන්ගෙන් ලැබුනු බව ද චන්දිමාල් සිහිපත් කරනවා.
ඔවුන් ඊයේ තරගයේදී හොඳින් ක්‍රීඩා කළ අතර ලකුණු 194 ක් හඹා යාම පහසු ඉලක්කයක් නොවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පෙන්වා දුන්නේ.
තරගය ආරම්භයට පෙර තම සැලසුම වුයේ වමත් සහ දකුණත් පිතිකරුවන්ගේ සබඳතාවකින් ඉදිරියට යාම වන අතර හොඳින් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු කඩුල්ලේ රඳවා තබා ගැනීම බව ද චන්දිමාල් හෙළි කළා.
ඊයේ තරගයේ එය හොඳින් ඉටු කර ගැනීමට හැකිවු අතර ඒ පිළිබඳ සතුටුවන බවයි ඔහු කියාසිටියේ.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ දසුන් ශානකගේ පිතිකරණය ඊයේ විශිෂ්ඨ ලෙස දැකගැනීමට හැකිවු බව ද චන්දිමාල් ප්‍රකාශ කළා.
කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායම මව් රටේදී ඉතා හොඳින් ක්‍රීඩා කරන අතර කිසිසේත් ඔවුන්ගේ දක්ෂතා අවතක්සේරු නොකරන බවයි දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් කියාසිටියේ.
තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවුනා.
ඔහු ඊයේ පන්දු 27 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 53 ක්.
එවැනි ලකුණු ප්‍රමාණයක් අඩු පන්දු සංඛ්‍යාවකින් ලබාගැනීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් කියාසිටියා.
සංචිතයේ අවසන් 11 දෙනා අතරට ද එක්වීමට නොහැකි වු තමාට මෙම ස්ථානයට පැමිණීමට සියලුදෙනාගේ දායකත්වය ලැබුනු බවයි ඔහු සිහිපත් කළේ.
එක්දින තරගවල මෙන් සාමාන්‍ය පරිදි ක්‍රීඩා කරන ලෙසට තමාට උපදෙස් ලැබුනු අතර එය එලෙසම ඉටු කළ බව ද කුසල් මෙන්ඩිස් සඳහන් කළා.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමුදුල්ලා ද තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් කියාසිටියේ ලකුණු 200 ඉක්මවා යාමට තම කණ්ඩායමට හැකියාව ලැබුනේ නම් තරගයේ අවසන් තීරණය වෙනස්වීමට ඉඩ තිබු බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් දක්ෂතා දැක්වු බව ද ඔහු සඳහන් කළා.