Gossips

ණය සීමා උල්ලංඝනය කර නැහැ – මහබැංකුව කියයි

ලක් රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගන්නා ණය මුදල් පිළිබඳව විනිවිදභාවයකින් කටයුතු කරන බව මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමගින් පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එලෙස ලබා ගන්නා මූල්‍යාධාර මහබැංකුව නිසි ලෙස ප්‍රකශයට පත් කරන බවයි.
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්නා ණය ගිණුම්ගත කිරීමේ ක්‍රමවේදයක් මහබැංකුව විසින් ද ක්‍රියාත්මක කරනු ලබනවා.
එම ක්‍රමවේදය අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන මගින් ද පිළිගෙන ඇති බවයි මහබැංකුව සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.
රජයේ ණය ගිණුම්ගත කිරීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලබාදෙමින් මහබැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සම්බන්ධයෙන් මහබැංකුව වගවීමකින් යුතුව කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, විගණකාධිපති ගාමිණී විජේසිංහ පසුගියදා බදාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රජයේ ණය ලබා ගැනීම් සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
මුදල් අමාත්‍යාංශ ලේඛණවල සඳහන් නොවූ හඳුනාගත් ණය ප්‍රමාණය බිලියන 826 ක් බව ද ඔහු එහිදී කියා සිටියා.