Gossips

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ – තැපැල් ඡන්දත් මධ්‍යස්ථාන වලට (ඡායාරූප)

පළාත් පාලන මැතිවරණයට අදාළව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙන්ම ඡුන්ද මධ්‍යස්ථාන ආසන්නයේ රැදී සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ දැඩි ආරක්ෂාවක් යටතේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුවන බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සහ ප්‍රවාහනය කිරීමේ කටයුතු අද (09) උදෑසන ආරම්භ වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු හඳුගල ගුණරත්න කියා සිටියේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ද ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් ස්ථානවල අද පෙරවරුවේ දී ඡන්ද පෙට්ටි බෙදා හැරීමේදී නිලධාරින් පැමිණීමේ ප්‍රමාදයන් සිදුවූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු ටී.කේ.ජී කපිල කියා සිටියා.
වතුකරයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන ඡුන්ද මධ්‍යස්ථාන වෙත ද මේ වනවිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වී තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී බත්තලන්ගුණ්ඩුව ඇතුළු දූපත් ප්‍රදේශ වෙත මුහුදු මාර්ගයෙන් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බව අප ප්‍රාදේශීය වාර්තාකරු ජූඞ් සමන්ත සඳහන් කළා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡුන්ද පෙට්ටි ප්‍රවාහනය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
අම්පාර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ඡුන්ද මධ්‍යස්ථාන වෙත මේ වනවිටත් ඡුන්ද පෙට්ටි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර, ගන්නොරුව රාජකීය විද්‍යාලයේ ඡන්ද පෙට්ට් ප්‍රවාහනය කරන ශිී‍්‍ර ලංගම බස් රථ සේවකයින් අද සිය උදෑසන ආහාරය වර්ජනය කරනු ලැබුවා.
ඒ මහනුවර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ආහාර කම්ටුවේ නිළධාරින්, බස් රථ සේවකයින්යට අශෝභන ආකාරයෙන් බැණ වැදුණ බවට චෝදනා කරමින්.
පසුව බස් රථ සේවකයින් උදෑසන ආහාරය මුදලට ගෙන ලබා ගෙන ඇති බව සඳහන්.
අප කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස් සී.එන්.තලංගම කියා සිටියේ ආදාළ රාජ්‍ය නිළධාරින්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කරන බවයි.
මේ අතර, වන අලි තර්ජන පවතින ඡන්ද මධ්‍යස්ථාන සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
වනජිවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මේ බව සඳහන් කළේ අප කළ විමසීමකදීයි.
2018 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත භාරදීම ද අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
මැතිවරණ දිනයේ පැමිණිලි භාර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මෙවර ද ස්ථාපිත කර තිබෙනවා.
ප්‍රධාන පළාත් නවයම ආවරණය වන පරිදි මෙම පැමිණිලි මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර, පොලිස් පැමිණිලි ඒකකය වෙත ද ඡන්ද දිනයේ සිය පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතිනවා.
011 2 866 541 සහ 0112 866 546 යන දුරකථන අංක ඒ සඳහා පැය 24 පුරා විවෘතව පවතින බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් නිවේදනය කළේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ අද (09) පස්වරු 2 පමණ වනවිට හෙට පැවැත්වෙන ඡන්දයේ රාජකාරි සඳහා යොදවා ඇති සියලු නිලධාරින් ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවයි.
ඉන් අනතුරුව අද පස්වරුවේ හෙට ඡුන්ද රාජකාරි සිදුවන ආකාරය පිළිබඳ පෙරහුරුවක් ද අදාළ මධ්‍යස්ථානවලදී සිදුවන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.
නිහඬ කාලසීමාව තුළ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයන් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,771 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයන් 8325 ක් තෝරා ගැනීමට නියමිතයි.
ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,221 ක්.

(ඡායාරූප – සනත් ගමගේ හම්බන්තොට / රවින්ද්‍ර ලියනගේ ගාල්ල / දිනසේන රතුගමගේ වවුනියාව / වන්නි රොමේෂ් මදුශංක / මාධව කුලසූරිය වවුනියාව / හැටන් රංජිත් රාජපක්ෂ / අබ්දුල් සලාම් යාසිම් මඩකලපුව / රොෂාන් තුෂාර තෙන්නකෝන් පොළොන්නරුව)