Gossips

ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩු වෙනසකට මුල් විය හැකියි – විදෙස් ප්‍රවෘත්ති සේවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහය ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් යහපාලන රජයේ ප්‍රථම පරීක්ෂණයේදී දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කළා.
එමගින් පෙන්වා දෙන්නේ පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරදවා වැඩි ඡන්ද සියයට 45 ක් පමණ ලබා සිටින බවයි.
30 වසරක් මෙරට පැවති බෙදුම්වාදී යුද්ධය ජයග්‍රහණය කිරීම් සම්බන්ධයෙන් මෙරට සිංහල – බෞද්ධ ජනතාව හිටපු ජනාධිපතිවරයා වීරත්වයෙන් සැලකීම මෙම ජයග්‍රහණයට මූලික හේතුවක් ලෙස එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවාව පෙන්වා දෙනවා.
එමෙන්ම, මෙම ප්‍රතිඵලය ආණ්ඩු වෙනසකට පවා මුල්විය හැකි අතර, එක්සත් ජාතික පක්ෂයට යළි විපක්ෂයේ අසුන් ගැනීමට බලපෑමක් සිදුකරන බවයි එමගින් සදහන් කළේ.
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සදහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය වත්මන් යහපාලන ආණ්ඩුවට අවමානයක් බවයි.
එය වත්මන් රජයේ නායකත්වය පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස ද එමගින් හදුන්වනු ලැබුවා.
එමෙන්ම, මෙමගින් යහපාලන රජයේ නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සබදතාව තවදුරටත් පලුදු විය හැකි බව ඩේලි මේල් පුවත්පතේ අදහසයි.
ඉන්දියාවේ නිල රූපවාහිනි සේවාව වන දූර්දර්ශන් සදහන් කළේ මෙම මැතිවරණය වත්මන් රජයේ මෙතෙක් ක්‍රියාකාරිත්වය පිළිබද ජනමත විචාරණයක් ලෙස හැදින්විය හැකි බවයි.
මෙම ප්‍රතිඵලය හේතුවෙන් වත්මන් රජයේ ඉදිරි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග අභියෝගයකට ලක්වන බව රොයිටර් පුවත් සේවය පළාත් පාලන මැතිවරණය පිළිබද වාර්තාවක් ගෙන එමින් සදහන් කළා.