Gossips

කතිරය පමණක් සලකුණු කරන්නැයි, ඡන්දදායකයන්ට උපදෙස්

හෙට මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී කතිරය පමණක් සලකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ වෙනත් කිසිදු සලකුණක් වලංගු නොවන බවයි.
යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී ක්‍රියාවන් සිදුව වුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කිරීමට සිදුවන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර, යම්කිසි ඡන්ද දායකයෙකුට තවමත් නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති නම් එය ලබා ගැනීම සඳහා හෙට පෙරවරු 10 දක්වා තැපැල් ස්ථාන විවෘතව පවතින බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.
වසර 41ට පසුව කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වෙන පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම හෙට පෙරවරු 7ට ආරම්භ වී පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.
නව මැතිවරණ ක්‍රමය අනුව සෑම පළාත් පාලන අයතනයකම සභිකධුර වලින් 60‍% ක් කේවල ක්‍රමය යටතේත් 40‍%ක් සමානුපාතික ක්‍රමය යටතේත් සභිකයින් තෝරා ගැනෙනවා.
සෑම ආයතනයකම සභිකයින්ගෙන් 25%ක් කාන්තාවන් විය යුතුයි.
මෙවර ඡන්ද විමසීමේ විශේෂත්ව ඡන්ද ගණන් කිරීම අදාල ඡන්ද පොලේදීම සිදු කිරීමට හැකිවීමයි.
කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අවස්ථානුගත සහ ආරක්ෂක හේතු මත ඇතැම් කොට්ඨාසවල ඡන්ද මධ්‍යාස්ථාන කිහිපයක ඡන්ද, ප්‍රධාන මධ්‍යස්ථානයකට රැස්කොට වෙන් වෙන්ම ගණන් කරන බවයි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ නිහඬ කාලසීමාව තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 70ක් පමණ වාර්තා වී ඇති බවයි.