Gossips

එජාප ප්‍රබලයින් තමන් ඝාතනය කිරීමට සැලසුම් කළා – රංගේ බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක ලිපියක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
නායකයින්ට අමතක වූ ජනතාව දැන ගත යුතු වූ ‘මගේ ලියවිල්ල’ යන උදෘතය යටතේ මාධ්‍ය වෙත යොමු කළ ලිපියක් මගිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
සිය ලිපිය මගින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පෙන්වා දෙන්නේ සංවිධායක ධුරයක් ලබා ගනිමින් දේශපාලනයට අවතීර්ණ වූ තමන්ට බොහෝ දේ අහිමි වූ බවයි.
දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් ඒ සියල්ලට මුහුණ දුන්න ද තමන්ට පක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ද ඔහු සිය නිවේදනය මගින් තවදුරටත් දක්වා තිබෙනවා.
දේශපාලන විරුද්ධවාදීන් බලපෑම් එල්ල කරද්දී, තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ද තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා එවැනි කැප කිරීම් තුළ ලබා ගත් ජයග්‍රහණ පක්ෂයට නොපෙනුණු බවත්, ඒ සඳහා අගය කිරීමක් සිදුනොවුණු බවත් පෙන්වා දෙනවා.
පොලිස් සේවය වෙනුවෙන් වසර 17ක කැප වීමත්, දේශපාලනය වෙනුවෙන් මේ දක්වා සිදුකළ කැප කිරීමත්, මත දැන් සිදුවන දෑ වේදනාකාරී වන බැවින් ජීවිතයේ ඉතිරි කාලය විවේකීව ගත කිරීමට ඇති කැමැත්ත නිසා බලහත්කාරයෙන් එල්ලී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු සිය ලිපිය මගින් තවදුරටත් සදහන් කර ඇත්තේ.
මෙම තත්ත්වය පිළිබද දීර්ඝ ලෙස සිතා බැලීමෙන් අනතුරුව ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම්වරයා වෙත භාර දුන්නත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එහෙත් තම අභිප්‍රායන් එලෙසම පවතින බවත්, ඒ සඳහා තව මොහොතක් බලා සිටීමට සිදුව ඇති බවත්, පවසන රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපිය මගින් තවදුරටත් සඳහන් කළේ ගෙවෙන සෑම මොහොතකම වටිනාකම මිල කළ නොහැකි බවයි.