Gossips

ඉදිරි පැය 48 තුළ ආණ්ඩු ප්‍රශ්නයට විසදුමක් එන ලකුණු

ආණ්ඩුව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි තත්ත්වයට ඉදිරි පැය 48 තුළ විසදුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි කියා සිටියේ ඊයේ (16) රාත්‍රියේ සිටම පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් ඊට අදාළව පැවති බවයි.
ඒකාබද්ධ විපක්ෂය අමාත්‍ය ධුර කිහිපයක් භාර ගැනීමට එකග වන්නේ නම් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ කිසිදු ගැටලූවක් නොමැති බව එම ප්‍රකාශකයා සදහන් කළා.
ඊට අදාළ සාකච්ඡාවක් අද රාත්‍රියේත් පැවැත්වෙන බවයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එසේම, ඕනෑම කොන්දේසියක් යටතේ ධුරයේ කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ජනාධිපතිවරයා වෙත එකගත්වය පළ කර ඇති බව ද නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කළා.
අමාත්‍ය එස්.බී. දිසානායකගේ නිවසේ ද ඊයේ රාත්‍රියේ සහ අද පෙරවරුවේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වුණා.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.
ඔවුන් මෙම අදහස් පළ කළේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
‘‘ එස්.එම්. චන්ද්‍රෙස්න.
රටේ ආර්ථිකය යම්කිසි මට්ටමකට ගෙනාවට පස්සේ අපි ඉල්ලීමක් කළා මහමැතිවරණයක් තියන්න කියලාග එතුමාත් ඒ පිළිබඳව සඳකා බලනවා කියලා පැහැදිළි කරලා දුන්නා.
ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයත් බොහොම ටික දෙනයි එකතු කරගතයුත්තේ 113 හදන්න. ඔබතුමාලාට ඊට වඩා බහුතරයක් එකතු කරගන්න ඕනේ ?
පිලිතුර – නෑ, එක්සත් ජාතික පක්ෂය විදිහට නෙවෙයි එක්සත් ජාතික පෙරමුණක් විදිහට තමයි ගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ. අලියා ලකුණෙන් තරග කරපු පක්ෂවල ඉන්නවා මන්ත්‍රීවරු 24 දෙනෙක්. එක්සත් ජාතික පක්ෂයට කියලා ඉන්නේ 82යි. ඒ නිසා එහෙන් ගැලවෙනකොට එහෙන් අඩු වෙනවා. මෙහෙන් ඩැඩි වෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ප්‍රශ්නය – අගමැතිතුමා කියනවා එතුමට බලය තියනවාල එතුමා රැඳී සිටිනවා කියලා ?
පිලිතුර – රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතිහාසය බැලුවොත් ඔහු මෙහෙම තමයි හැම ප්‍රශ්නයක් ආව වෙලාවකදිම කට්ටි පැනලා තියෙන්නේ පැය 24ක් පැය 48ක් අල්ල ගන්න. එතකොට ඔහු කියනවා අහවල් ඇමතිල මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙනවා. මේ හැමදේම කරන්නේ රඟපෑමක්. එක්සත් ජාතික පක්ෂයේ විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මොහු ජනාධිපතිවරයා ගාවට එක්කගෙන ගිහිල්ලා තනියම ජනාධිපතිවරයා මුණගස්වලා දෙන්නෙක් තුන්දෙනෙක් දාන්නෙත් නැහැ. දෙන්නෙක් තුන්දෙනෙක් දැම්මානම් දන්නවා ඔවුන් විරුද්ධයි කියලා කියනවා කියලා. ඉතින් ඔහු අමාරුවෙන් අසාර්ථක උත්සාහයක යෙදෙනවා ඔහුගේ බලය රැකගන්න.
ප්‍රශ්නය – ඔබේ මව්බිම එ.ජා.ප.ය. ඔබට දුකක් හිතෙන්නේ නැද්ද ?
පිලිතුර – මට කිසිම දුකක් හිතෙන්නේ නැහැ. LTTE එක විසින් එක්සත් ජාතික පක්ෂයේ හිපු දක්ෂ නායකයෝ හැමෝම විනාශ කෙරුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ හරහා ආවේ. ඒ හිනදා තමයි ඒකේ ණය ගෙවන්න හදන්නේ යාපනයට. එක්සත් ජාතික පක්ෂයේ පේනතෙක් මානයේ නායකයෙකුට නැගිටින්න හම්බෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාලුවෝ ටික එකතු කරගෙන මිත්‍රයොත් එක්ක හොරකම් කරගෙන දක්ෂයන්ව කප කප ඒ නිසා අපි පැහැදිළිව කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න තාක් කලා ඔලුව උස්සන්න හම්බෙන්නේ නැහැ.
දිනේෂ් ගුණවර්ධන
ප්‍රශ්නය – දැන් ජනාධිපතිතුමා එකඟ වුණාද ?
පිලිතුර – UNP එක යටතේ ඇතිවී තිබෙන හානියයි රට පත්වෙලා තියෙන අභාග්‍යසම්පන්න තත්ත්වයයි පිළිගත්තා.
ප්‍රශ්නය – අගමැතිතුමා කියනවා මාධ්‍යය හමුවේ එතුමාට අයින් වෙන්න අවශ්‍ය නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ?
පිලිතුර – පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි UNP එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදපු නිසා ආණ්ඩුවක් ගෙනියන්න අවසර දෙන්න කියලා. දැන් ඒක ඉවරවුණාම මොන තර්ක කතා කළත් ඒ වරම නැහැ. ව්‍යවස්ථාව යටතේ ආව කෙනා ව්‍යවස්ථව යටතේ ගෙදර යන්න ඔනේ. ඒ නිසා ජනාධිපතිතුමාට අලුත් අගමැතිවරයෙක් පත් කරන්න පුලුවන්. UNP නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්ට අග්‍රාමාත්‍ය ධුරය භාර දෙන්න.
ප්‍රශ්නය – ඔබතුමාලා පිළිගන්නේ නැද්ද යූ.එන්.පී. එකට ඔබතුමාලාට වඩා ඔබතුමාලාගේ පක්ෂයට වඩා මන්ත්‍රීවරු ඉන්නවා කියලා ?
පිලිතුර – ඒක පෙනෙයි හෙට හෝ අනිද්දා උදේ වෙනකොට.
ප්‍රශ්නය – ඒ කියන්නේ යූ.එන්.පී මන්ත්‍රීවරුත් ඔබතුමාලාගේ පැත්තට එනවාද ?
පිලිතුර – ඒක පටන්ගෙන ඉවරයිනේ. UNP එකේ නායකතුමාට එළිපිට බණින්නේ අපිද?
ප්‍රශ්නය – ඔබතුමාලා කරපු ආරාධනය යූ.එන්.පී මන්ත්‍රීවරු පිළිඅරගෙන නැහැ කියලා කියනවා?
පිලිතුර – හොඳයි එහෙම සන්තෝසෙන් ඉන්න එක, හැබැයි එතුමා පරදිනවා’’
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් අදත් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ඒ, නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ගෙන යන වැඩපිලිවෙලට මුහුණදෙන ආකාරය සම්බන්ධවයි.
ම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්, මුජිබර් රහුමාන් සහ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ අදහස් දැක්වුවා.
– තුෂාර ඉඳුනිල්
පක්ෂය නියෝජනය කරන 106 අපිට හොඳටම විශ්වාසයක් තියෙනවා. සහ මේ ආණ්ඩුවට දායකවෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැර අනිත් අය ගැනත් විශ්වාසයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් යම් පිරිසක් අපිත් එක්ක ඉඳී කියලා අපි විශ්වාස කරනවා. අපි ජනාධිපතිතුමාවත් විශ්වාස කරනවා, මොකද ඔය කවුරු අයිතිවාසිකම් කිව්වත් අපි පත්කරපු ජනාධිපතිවරයානේ. මට පේන්නේ ජනාධිපතිතුමාත්, එතුමාවත් පීඩනයකට ලක්කරලා තියෙන බවක් අපිට දැනෙනවා. අපේ ආණ්ඩුවටත් එතුමා අකුල් හෙලන්නේ නැති බවත් අපි දන්නවා.
– මුජිබර් රහුමාන්
අපිට අනිවාර්යයෙන්ම බහුතරය පෙන්නන්න දෙයක් නැහැ බහුතරය ඉන්නවා. ඒ ඉන්න හින්දානේ අගමැතිතුමා තාම තනතුරේ ඉන්නේ. ඔය බහුතරය නැති අය තමයි මේ අනම් මනම් කිය කිය මේ ප්‍රශ්නේ කුලප්පු කරන්නේ. හැමදාම කියනවා පැය 24, පැය 24 කියලා. දැන් මේ සුමානයකුත් වෙන්න එනවා. කෝ ඉතින් එයාලාගේ බහුතරය?
– බන්දුලාල් බණ්ඩාරිගොඩ
මගේ නම් බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන්න. හැබැයි අද මේ වන විට එවැනි ආණ්ඩුවක් නිර්මාණය කරගත නොහැකිනම් මේ පවතින‍ ආණ්ඩුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජනවරමට සාධාරණ ඉටු කරමින් ඉස්සරහට යා හැකිනම් ඒ ආණ්ඩුවත් එක්ක අපි ඉස්සරහට යනවා’’
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට ද නියමිතයි.
එසේම, අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර එක්සත් ජාතික පෙරමුණේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට රාත්‍රි 07 ට අරලියගහ මන්දිරයේදී ද පැවැත්වෙන බව ද අද වාර්තා වුණා.
ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.