Gossips

ඇලෝසියස් සහ පලිසේනගේ ඇප ඉල්ලීමට අද ලැබුණු නියෝගය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට ඇප ලබාදීම දැඩි ලෙස විරෝධය පළ කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිත කරුණු ගොනුකළා.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම ඇතුලු නීතිඥ කණ්ඩායමක් විසින් මෙම කරුණු ගොනුකළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 7 වනදා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලිඛිත ඇප අයදුම්පතක් ද ගොනු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එහිදී නියෝග කළේ මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මේ මස 16 වනදා ලබාදෙන බවයි.
එදින මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට කළ නියෝගයකට අනුවයි අද දින නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස ඔවුන්ට ඇප ලබාදීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ලිඛිත කරුණු දැක්වීමක් සිදුකළේ.
ප්‍රශ්ණ ගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ඊට පසුදින (05)දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළා.
අනතුරුව 05 වනදා නැවතත් ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණීමෙන් අනතුරුවයි ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.