Gossips

සලකුණු කළ ඡන්දය ඡායාරූප ගත කළ 7ක් අත්අඩංගුවට

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන එක් අයෙක් අත්අඩංගුවට ගැනුනේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
සැකකරු ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය බාරව කටයුතු කරන ස්ථානාධිපති විසින් සැකකරු හා ජංගම දුරකථනය පොලිසියට භාරදී තිබෙනවා.
අවුරුදු 23 ක් වන සැකකරු මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 14 වනදා කලුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
මේ අතර පුජාපිටිය ප්‍රදේශයේ අවුරුදු 29 ක් වන තරුණයෙකු ද සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුජාපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
කොස්කොටේ බටුගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අරලගංවිල පිහිටිවැව ඡන්ද මධ්‍යස්ථානයකදී ද සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පස්වරු 1.40 ට පමණයි.
ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය පොලිසියට භාරදී තිබෙනවා.
ඔහු ඇප මත නිදහස් කර ඇති අතර පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
මේ අතර අලුත්ගම ස්වර්ණජයන්තිපුර ප්‍රදේශයේදී අද දහවල් තවත් තරුණයෙක් අත්අඩංගුවට ගැනුනේ සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කර එය රැගෙන පළා යාමට උත්සාහ කිරීමේදීයි.
එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු සහ ජංගම දුරකථනය සිය භාරයට ගෙන තිබෙනවා.
අවුරුදු 23 ක් වන මෙම සැකකරු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුරුණෑගල අස්වැද්දුම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනේ ඡන්දය සලකුණු කරන අවස්ථාවේ ජංගම දුරකථනයෙන් එය ඡායාරූප ගත කරමින් සිටියදීයි.
38 හැවිරිදි සහ 57 හැවිරිදි සැකකරුවන් දෙදෙනා සහ ජංගම දුරකථන කුරුණෑගල පොලිසියට භාරදී තිබෙනවා.
ඔවුන් දෙදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර කුලියාපිටිය වීරඹුව ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකු ද සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කිරීමේ දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *