Politics Sri Lanka

“මම කවුද, මම දේශපාලනය තෝරගත්තේ කොහොමද කියල අපේ ගමේ සියලු දෙනා දන්නවා” අනුර දිසානායක උපන් ගමේදී ජනතාව අමතයි

“මම කවුද, මම දේශපාලනය තෝරගත්තේ කොහොමද කියල අපේ ගමේ සියලු දෙනා දන්නවා” අනුර දිසානායක උපන් ගමේදී ජනතාව අමතයි

“සියලු ධනපතියන් උඩින් එකට එකතු වෙලා ඉන්නේ. හැබැයි ගම්වල අපි ශ්‍රීලංකා, ජේවීපී, යූඑන්පී ආදී ලෙස බෙදිලා ඉන්නවා. ඒ අයගේ දුවාදරුවන් ඒ අය එකට ජීවත් වෙන්නේ. අපිට පෙන්නනවා වෙනස් කියලා. ඒනිසා ඡන්ද කාලෙට මේ අය අරක්කු බවුසර් ගණන් බෙදලා දෙනවා. සිල් රෙදි බෙදලා දෙනවා අපේ අම්මලා අක්කලාට සිල් රකින්න කියලා. අනිත් පැත්තෙන් අපේ තාත්තට, අයියට, මල්ලීට අරක්කු බෙදනවා සිල් කඩන්න කියලා. මේක තමයි මේ අයගේ දේශපාලනේ. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව මෙවර තීරණයක් ගන්න” යැයි ජනතා විමුක්කි පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය (31) වනදා සිය උපන් ගමේදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආඬියාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දේශපාලනය වෙනුවෙන් තම ගේදොර වතුපිටි සහෝදර සහොදරියන් සියල්ල කැප කිරීම් කළ බව කී අනුර දිසානායක මහතා දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා හෙට දවසේ ගමේ දුවාදරුවන් වෙනුවෙන් එම කැපකිරීම සිදු කරන බවද සඳහන් කළේය.

තම ගෙවල් දොරවල් ගිනිතබා විනාශ කළාට පස්සේ ඥාතියෙකුගේ ගෙදර තමන් කාලයක් සිටි බවත් පවසමින් තම අතීතය සිහිපත් කළේය.

තමන් ගමට පැමිණෙන්නේ නැති බවට ඇතැම් අය චෝදනා කළද ජාතික වගකීමක් පැවරී ඇති නිසා රටේ වගකීම් ඉටු කිරීමට ඇති හෙයින් ගමට පැමිණීමට නොහැකි වන බව අනුර දිසානායක මහතා සිය ඥාතීන් හමුවේ කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේද කීය.

“අපේ ගමේ සියලු දෙනා දන්නවා මම කවුද කියලා. මම දේශපාලනය තෝරා ගත් විදිය, මේ දේශපාලනය නිසා අපි බැටකාලා තියෙන විදිහ ගැන ගමේ අය දන්නවා. අපිට වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් අපේ සොහොයුරන් ජීවිතේ පූජා කරලා තියෙනවා. අපේදේපළ ගිනි තියලා තියෙනවා. අපි විශාල දුක් කරදරවලට මුහුණපාලා තිබෙනවා අපේ ගෙවල් ගිනිතියලා අපි ඥාතින්ගේ ගෙවල්වල තමයි කාලයක් හිටියේ. “සේනා” කිරිඅත්තගෙ කුස්සියේ කාලයක් හිටියා. එහෙමයි අපි ජීවත් වුණේ. අපිට ඕනකමක් තියෙනවා මේරට වෙනස් කරන්න. වෙනස් කිරීම වෙනුවෙන් තමයි මම දේශපාලනය කරන්නේ. තමුන්නාන්සේලා හිතන්න පුළුවන් මම ගමේ එන්නේ නැහැ කියලා. ඒක හරි. ගමට එන එක ‍නෙවෙයි වැදගත්කම තියෙන්නේ. අපිට ඕනකම තියෙන්නේ මේරට මීට වඩා සුන්දර රටක් කරන්න. මම ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනවා. තමුන්නාන්සේලා අපි හැමෝම මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න ඕන. අපි විඳින දුක් අපේ දරුවන්ට දෙන්න හොඳ නැහැ. දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න වුවමනාවක් තියෙනවා. අපි ඇත්ත ලෙන්ගතු හදවතින් ඒ වුමනාව ඉටු කරන්නේ.

ගමට එන්නේ නැති බවට ඇතැම් අය චෝදනා කළත් ජාතික වගකීමක් පැවරී තිබූ නිසා ගමට එන්න බැරි වුණා. ගම ගැන සිතා රටේ ඡන්ද ක්‍රමය මෙවර වෙනස් කිරීමේ විශාල කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ ඉටුකළා. මේ ඡන්ද ක්‍රමය හදන සාකච්ඡා කරද්දි සාකච්ඡා කරන කමිටුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතා හිටියා. ඡන්ද ක්‍රමය පිළිබඳව සියලු කටයුතු සූදානම් කර සම්මත කරන විටත් ඔහු නිදාගෙන සිටියා. අවදි වෙලා බලද්දී පනත් සියල්්ල සූදානම් කරතිබුණා.

ධනපතිවාදී සියලුම දේශපාලන පක්ෂ ඉහළ නායකයින් එකට දේශපාලනය කරනවා. මැතිවරණ කාලයේදී ජනතාවට විවිධ ‍පොරොන්දු දීලා සිල්රෙදි, අරක්කු දෙනවා. ගමේ ජනතාව එක්එක් දේශපාලන පක්ෂවලට බෙදී වෙන්වී ඉන්නවා. එහෙම නොවී එකතු විය යුතුයි.

හදන්න ඕන අය අපට ඉන්න නිවහනක්, හොඳ ආදායමක්,හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපනයක්, මානසික සුවයක්, විනෝදයක්, අපිටත් තියෙන්න ඕන. මිනිස්සු කියන්නේ ඒකයි. අපිට ඒ කිසිවක් නැහැ. අපිට හරියට ඉන්න ගෙයක් නැහැ. හරි ආහාර වේලක් නැහැ. ආදායම් මාර්ගයක් නැහැ. මානසික සුවය, මනසට නිදහසක් නැහැ. බෙහෙත් ගන්න තැනක් නැහැ. අපි සියලු දෙනාම ඥාතීන් ලෙඩ කඳන්නම් මොකක්ද අපට දැන් උරුමවෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕන නැද්ද කියලා මම ඥාතීන්ගෙන් අහනවා. ඒ වෙනස් කිරීම වෙනුවෙන් තමයි මම දේශපාලනය තෝරාගන තියෙන්නේ. වෙනස් කිරීම සඳහා සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියලා මම ඉල්ලනවා.

මේ සැරේ ඡන්ද ක්‍රමය හරි වෙනස් එකක්. හොඳ ඡන්ද ක්‍රමයක් අපි හැදුවා. දැන් තමයි රටේ ඡන්ද ක්‍රමය ගැන දුමින්දලාට තේරුණේ. ඔය ඡන්ද ක්‍රමය හදන්න විශාල කාර්යභාරයක් කළේ ජනතා විමුක්ති පෙරමුණ. නිමල් සිරිපාල ද සිල්වා තමයි සාකච්ඡාවල හිටියේ. අපි ක්‍රමේ හදනකොට නිමල් බුදි. පස්සේ දැන් තමයි මතක් වෙගා තියෙන්නේ මාර අප්සට් කියලා. හොඳ ඡන්ද ක්‍රමයක් අපි හැදුවා. ඉස්සර වගේ මාගල් වගේ ඡන්ද පත්‍රිකාවක් නැහැ. ඉතා කෙටි ඡන්ද පත්‍රිකාවක් තියෙන්නේ. තරඟ වදින පක්ෂවල නම් සහ සලකුණු ටික තියෙනවා ඊට ඉස්සරහින් හිස් කොටුවක් තියෙනවා. ඒ හිස් කොටුව ඉදිරියේ කතිරය ගහන්න තමයි ජනතාවට තියෙන්නේ.

ජනතාව හිතන්න ඕන හිස් කොටු තිබ්බට මොන කොටුව ඉදිරියේද කතිරය ගහන්නේ කියලා. ඒක තමයි ජනතාවගේ දරුවන්ගේ හෙට දවස තීරණය වන කොටුව. අපි කාටද ඡන්දය දෙන්නේ කියලි හිතලා බලන්න. එක්සත් ජාතික පක්ෂ හිස් කොටුව ඉස්සරහ කතිරේ ගහනවාද. එපා. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණා. එයා ජනාධිපති වෙනකොටම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති පුටුවේ වාඩි කළා. දැන් අවුරුදු 3ක් වෙනවා. මේ ආණ්ඩුවට තියෙන්නේ තව අවුරුදු දෙකයි. මේ අවුරුදු 3 මොකද කළේ. මේ අවුරුදු තුන ගැන ඔබට සතුටුද? අවුරුදු තුනේම පාලනය අසාර්ථකයි.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටුව ඉදිරියේ කතිර ගහනවද. එපා ඒ අය මොනවද කරලා තියෙන්නේ හැමදාම හොරු රකිනවා. හොරුන්ව ආරක්ෂා කරනවා. ජනතාවට බොරුවක් කරනවා. රැවටිලිකාර දේශපාලනයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මැති ඇමැතිවරුන්ගේ නම් ගම් එක්ක අපට හෙළි කරන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ‍පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලනවා. ඒකට දෙන්නත් එපා. පුළුවන් තරම් රට විනාශ කරලා බොරු කියලා පහුගිය කා‍ලේ ඡන්දය ගත්තා. විදුලි පුටුවක් පෙන්නලා, කෝ දැන් විදුලි පුටුවට මොකද වුණේ. තනිකර බොරු. මේ සැරේ ඇවිල්ලා විදුලි පුටුව ගැන කතා කරන්න බැහැ. ඒක බොරුවක් වුණා. ඒ අයගේ මැති ඇමැතිවරුන්ගේ සහෝදරයන්ගෙ බැංකු ගිණුම් පුරවගෙන තියෙන්නේ. බොරු කියන අයට ඡන්දය දෙන්න එපා. ජනතාවට ඇත්ත කියන බොරු නොකියන ජනතාව වෙනුවෙන් පෙනී සිටින හොරකම් නොකරන වැටුප් නොලබන ජනතා විමුක්ති පෙරමුණට ගම භාර දීලා බලන්න. එකපාරක් භාර දීලා හොඳ නැත්නම් නැවත ඒ අයට දෙන්න. තමන්ගේ අම්මා තාත්තා කිරි අත්තා කිරි අම්මලාගේ කා‍ලේ ඉඳලම මේ දෙගොල්ලට රට දුන්නා හැබැයි පලක් වුණේ නැහැ.

මේ සියලු ධනපතියන් උඩින් එකට එකතුවෙලා ඉන්නෙ. හැබැයි ගමෙ අපි යූඇන්පී, ජේ.වී.පී. ශ්‍රී ලංකා ආදී වශයෙන් බෙදිලා ඉන්නවා. ඒ අයගේ දුවා දරුවන් ඒඅය එකට ජීවත් වෙන්නේ අපිට පෙන්නනවා වෙනස් කියලා. ඒනිසා ඡන්ද කාලෙට අරක්කු බව්සර ගණන් මේ අය බෙදලා දෙනවා. සිල් රෙදි බෙදලා දෙනවා. අපේ අම්මට අක්කට එක අතකින් සිල් රෙදි දෙනවා සිල් රකින්න කියලා. අනිත් පැත්තෙන් අපේ තාත්තට අයියට මල්ලිට අරක්කු බෙදනවා සිල්කඩන්න කියලා. මේක තමයි ඒඅයගේ දේශපාලනය ඒනිසා ජනතාව බුද්ධිමත්ව මෙවර තීරණයක් ගන්න” යැයි පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *