Gossips

උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීම වළක්වයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් ද ඔහු සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරමින් පවතින බවයි.
එමෙන්ම අදාළ විමර්ශණ අවසන් වන තෙක් උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීම වලක්වා ඇති බවයි අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටියේ.
එම විමර්ශණවලට අමතරව හිටපු තානාපතිවරයාට එල්ලවී ඇති චෝදනා පිළිබඳ මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශ නිලධාරීන් ද ජාත්‍යයන්තර පොලිසිය සමග එක්ව තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.
අබුඩාබි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිඥයන්ගේ සේවය ලබාගෙන ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහායි.
උදයංග වීරතුංගට එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා ඔහු ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටිනවා.
ඔවුන් එම කරුණ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයේ දැක්වෙන්නේ.
රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව අමරිකා ඩොලර් මිලියන 7.833 ක් අවභාවිත කිරීම චෝදනාවයි.
පසුගිය පෙබරවාරි 4 වනදා අමරිකාව බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේ දී ඔහු අත්අඩංගුවට පත්වුනා.
ඒ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ නිල් නිවේදනය පදනම් කර ගනිමින්.
කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින නීතිය සහ ජාත්‍යන්තර පොලිසියේ නිල් නිවේදනයට අදාළ නීති රීති මගින් උදයංග වීරතුංග තවදුරටත් රඳවා තබා ගැනීම වැළකුණු අතර පසුව ඔහු නිදහස් කර තිබුනා.
කෙසේවෙතත් පරීක්ෂණවලට අනුව ඔහුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමියෙන් පිටවී යාම වළක්වා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උදයංග වීරතුංග ඊයේ (08) කියාසිටියේ ඩුබායි ගුවන්තොටුපලේදී ජාත්‍යන්තර පොලීසිය විසින් රදවා ගත් තමන්, රතු වරෙන්තුවක් නොමැති වීමෙන් නිදහස් කළ බවයි.
ජාත්‍යන්තරව තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බව සදහන් කරන ඔහු දැනට ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නොමැති බව ද එහි දක්වා තිබෙනවා.
එසේම වැඩිදුරටත් ඔහු සදහන් කර ඇත්තේ මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව වන්දි නඩුවක් පැවරීමට තමන් සුදුසු අවස්ථාවක් උදා වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *